සිය විසි හැවිරිදි තරුණ සැමියාට සියදිවි හානි කර ගැනීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් 19 හැවිරිදි බිරිඳක් ඇප මත මුදා හැරීමට මහර අංක 02 අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කර තිබේ. සැකකාරිය රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියම වූ අතර ඇපකරුවන්ගේ පදිංචිය තහවුරු කළ යුතු බවට ද අධිකරණය නියෝග කළේය. මියගිය තරුණයා බියගම නිදහස් වෙළෙඳ කලාපයේ සේවය කළ යූ. ජී. අරුණ දිල්ශාන් නැමැත්තෙකු වන අතර මෙම යුවළ වඩුවේගම ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටියදී සිංහල අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු සැමියා නවාතැනට පැමිණිය ද බිරිඳ පැමිණ නැත. බිරිඳ සිය “ටික්ටොක්” ගිණුම හරහා වෙනත් තරුණයෙකු සමඟ සිටින ඡායාරූපයක් සැමියාට එවා තමාට ඔහුව එපා බවත් වෙනත් අයෙකු සිටින බවත් පැවසීමෙන් දැඩි ලෙස සිත් තැවුලට පත් තරුණයා සිය නවාතැන්පොළේ ගෙල වැළලාගෙන මියගොස් තිබේ. බිරිඳ සැමියාගේ මෘත දේහය භාර ගැනීම ද ප්‍රතික්ෂේප කර ඇති අතර පසුව එය ඔහුගේ මව විසින් භාරගෙන වැලිවේරිය පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කර ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ 299 වගන්තිය යටතේ සියදිවි හානි කර ගැනීමට අනුබල දීමේ චෝදනාව මත බියගම පොලිසිය ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර නඩුවේ වැඩිදුර විභාගය ලබන ජූලි මස 21 වන දිනට කල් තබා තිබේ.














