වසර ගණනාවක් තිස්සේ අබලන්ව පැවති මාර්ගයක් හේතුවෙන් කන්තලේ ප්‍රදේශයේ ගොවි ජනතාව ඇතුළු දහස් සංඛ්‍යාත පිරිසක් මුහුණ දුන් දුෂ්කරතා දැන් නිමාවකට පත්වෙමින් තිබේ. එදිනෙදා අස්වැන්න ප්‍රවාහනය කිරීමට පවා නොහැකිව, මඩ ගොහොරුවක් බවට පත්ව තිබූ මෙම මාර්ගය හේතුවෙන් ප්‍රදේශයේ ආර්ථිකය පවා දැඩි ලෙස අඩපණ වී තිබූ අතර ජනතාව පසුවූයේ බලධාරීන්ගේ අවධානය යොමුවන තෙක් දැඩි බලාපොරොත්තුවකිනි.
මෙම ජනතා ඉල්ලීමට කන් දෙමින් කන්තලේ වාන් ඇළ වැව මාර්ගය නවීකරණය කිරීමේ කටයුතු රුපියල් මිලියන 50ක දැවැන්ත පිරිවැයක් යටතේ ඊයේ (28) නිල වශයෙන් ආරම්භ කෙරුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි මෙම ව්‍යාපෘතිය යටතේ මීටර් 1200ක දිගින් යුතු මාර්ග කොටසක් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත අතර එමඟින් වසර ගණනාවක පවතින ප්‍රවාහන ගැටලුවලට ස්ථිර විසඳුම් ලැබෙනු ඇත.
දිගු කලක් තිස්සේ නොසලකා හැර තිබූ මෙම මාර්ගය සංවර්ධනය වීමත් සමඟ ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු වලට නව පණක් ලැබෙනු නොඅනුමානය. රජය සහ මහජන නියෝජිතයින් එක්ව ක්‍රියාත්මක කරන මෙවැනි සංවර්ධන කටයුතු හරහා ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන අතරම, කන්තලේ සශ්‍රීකත්වය යළි ගොඩනැගීමට ද මෙය මනා පිටුවහලක් වනු ඇත.














