ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ආසන්නයේ මගී ප්‍රවාහන දුම්රියක් සහ දිගු දුර ධාවනය වන දුම්රියක් එකිනෙකා ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරින් මියගිය පුද්ගලයින් 16 දෙනාම කාන්තාවන් බව වාර්තා වේ. මියගිය සියලුම දෙනා ලිංගික හිරිහැර වැළැක්වීම සඳහා කාන්තාවන් වෙනුවෙන්ම වෙන් කර තිබූ විශේෂිත මැදිරියක ගමන් කරමින් සිටි අය බව තහවුරු වී ඇත. මියගිය පිරිස අතර KompasTV ආයතනයේ සේවය කළ 32 හැවිරිදි මාධ්‍යවේදිනියක වන නූර් අයිනා සහ 30 හැවිරිදි හරුම් අන්ජාර්සාරි යන අය ද සිටින බව වාර්තා වේ. තුවාල ලැබූවන්ගෙන් බහුතරය ද කාන්තාවන් වන අතර, කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ම වෙන් කළ “ආරක්ෂිත කලාපය” තුළදීම මෙම මරණ සිදුවීම හේතුවෙන් එරට දුම්රිය මගීන් අතර විශාල බියක් සහ සැකයක් මතු වී තිබේ. මෙම අනතුරත් සමඟ ජකර්තා නුවර දෛනිකව දුම්රියෙන් ගමන් කරන කාන්තාවන් සිය ආරක්ෂාව පිළිබඳව දැඩි කනස්සල්ලෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.














