වර්තමාන ශ්‍රී ලාංකීය ජනගහනයෙන් 25%ක් වැනි අතිවිශාල පිරිසක්, එනම් අප අතර සිටින සෑම පුද්ගලයන් සිව්දෙනෙකුගෙන් එක් අයෙකුම දරුණු සෞඛ්‍ය තර්ජනයකට මුහුණ දී සිටින බව අද (29) දින පැවති සෞඛ්‍ය ප්‍රවර්ධන මාධ්‍ය හමුවේදී විශේෂඥ වෛද්‍යවරුන් විසින් අනාවරණය කරනු ලැබුවා. බොහෝ දෙනෙකු සාමාන්‍ය රෝගී තත්ත්වයන් ලෙස සලකා නොසලකා හරින බඩගින්න, බඩ පිපීම හෝ පපුවේ දැවිල්ල වැනි ලක්ෂණ ඇත්ත වශයෙන්ම මාරාන්තික රෝගයක මූලික අනතුරු ඇඟවීම් විය හැකියි. විශේෂයෙන්ම කිසිදු රෝග ලක්ෂණයක් පිටතට නොපෙන්වා අක්මාව තුළ තැන්පත් වන තෙල් පටල හෙවත් Fatty Liver තත්ත්වය මේ වන විට අපේ රටේ ජනතාව “නිහඬ ව්‍යසනයක්” ලෙස ගොදුරු කරගනිමින් පවතින බවට වෛද්‍යවරු දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර සිටිනවා.
විශේෂඥ වෛද්‍ය ධනුෂී අබේනායක මහත්මිය පෙන්වා දෙන්නේ ආමාශයේ ඇතුළත පටල ප්‍රදාහයට ලක්වීම හෙවත් ගැස්ට්‍රයිටිස් තත්ත්වය හුදෙක් වැරදි ආහාර රටාවන් නිසා පමණක් නොව Helicobacter pylori නම් බැක්ටීරියාව සහ මානසික ආතතිය නිසාද බහුලව ඇතිවන බවයි. පපුව දැවිල්ල සහ උදර වේදනාව සමඟ වමනයෙන් රුධිරය පිටවීම හෝ මලපහ කළු පැහැයෙන් පිටවීම වැනි ලක්ෂණ පවතී නම් එය ආමාශ පිළිකාවක පෙරනිමිති විය හැකි බැවින් වහාම එන්ඩොස්කොපි පරීක්ෂණයකට යොමුවීම අත්‍යවශ්‍ය වේ. එසේම විශේෂඥ වෛද්‍ය පියල් රංගන හේරත් මහතා අවධාරණය කළේ මධ්‍යසාර භාවිත නොකරන පුද්ගලයන් පවා දියවැඩියාව සහ අධික ස්ථූලතාවය හේතුවෙන් අක්මාව සිරෝසිස් තත්ත්වයට පත්වීමේ දැඩි අවදානමකට මුහුණ දී සිටින බවයි.
මෙම මාරාන්තික තත්ත්වයන්ගෙන් බේරීම සඳහා දිනකට අවම විනාඩි 30ක ව්‍යායාම, සීනි සහ තෙල් අධික ආහාර පාලනය මෙන්ම වෛද්‍ය උපදෙස් රහිතව වේදනා නාශක භාවිතයෙන් වැළකීම අතිශය තීරණාත්මක වේ. පුදුමයට කරුණක් ලෙස සීනි සහ ක්‍රීම් රහිත කළු කෝපි මධ්‍යස්ථව භාවිත කිරීම අක්මාවේ සෞඛ්‍යයට හිතකර බව පර්යේෂණාත්මකව තහවුරු වී ඇති බව මෙහිදී අනාවරණය කෙරුණා. රෝගය උත්සන්න වන තෙක් බලා නොසිට නිසි කාලයේදී රුධිර හා ස්කෑන් පරීක්ෂණ මගින් ඔබේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර ගැනීම ඔබගේ සහ ඔබේ පවුලේ අනාගතය සුරක්ෂිත කරන එකම මඟ බව මතක තබා ගන්න.














