කන්තලේ ප්‍රදේශයේ ජනතාව සහ ගොවීන් දීර්ඝ කාලයක සිට මුහුණ දුන් ප්‍රවාහන දුෂ්කරතාවලට තිරසාර විසඳුම් ලබාදෙමින්, කන්තලේ වාන් ඇළ වැව මාර්ගය නවීකරණය කිරීමේ කටයුතු ඊයේ (28) නිල වශයෙන් ආරම්භ කෙරුණි. රුපියල් මිලියන 50ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය හරහා මීටර් 1200ක දුර ප්‍රමාණයක් පූර්ණ ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.
දිගු කලක් තිස්සේ නිසි නඩත්තුවක් නොමැතිව අබලන්ව පැවතීම හේතුවෙන් මෙම මාර්ගය භාවිත කළ ගොවි ජනතාව ඇතුළු ප්‍රදේශවාසීහු දැඩි අපහසුතාවට පත්ව සිටියහ. විශේෂයෙන්ම කෘෂිකාර්මික කටයුතුවලදී අස්වනු ප්‍රවාහනය කිරීමට මෙහි පවතින අබලන් තත්ත්වය විශාල බාධාවක්ව පැවති අතර, මෙම සංවර්ධන කටයුතු නිමවීමත් සමඟ ප්‍රදේශයේ ආර්ථික හා සමාජීය කටයුතු වඩාත් කාර්යක්ෂම වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සංවර්ධන කටයුතු ආරම්භ වූ අතර, ප්‍රදේශයේ ජනප්‍රිය ඉල්ලීමක් ඉටුකිරීමට හැකිවීම පිළිබඳව බලධාරීන් මෙහිදී සිය සතුට පළ කළහ. රජයේ ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර ඇත.














