දිට්වා සුළි කුණාටුවෙන් වගා හානි වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා වී ගොවීන්ට සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ඇමරිකානු ඩොලර් 300,000ක වටිනාකමකින් යුත් පොහොර ආධාර වැඩසටහනක් දියත් කර තිබේ. මෙමඟින් 2025/26 මහ කන්නයේදී වගා හානි සිදු වූ ගොවි කාන්තාවන් 1,686 දෙනෙකු ඇතුළුව ගොවීන් 3,489 දෙනෙකුට සහාය සැලසෙන අතර, එය ඉදිරි යල කන්නයේ වී නිෂ්පාදනය යථා තත්ත්වයට පත් කිරීමට ඉවහල් වනු ඇත.
ශ්‍රී ලංකාවේ FAO ආයතනය විසින් මාර්ගගත ඩිජිටල් පොහොර වවුචර් වැඩසටහනක් ක්‍රියාත්මක කරන පළමු අවස්ථාව මෙය වන අතර, සුදුසුකම් ලත් ගොවීන්ට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා අත්‍යවශ්‍ය පොහොර මිලදී ගැනීමට විද්‍යුත් වවුචර් (e-vouchers) නිකුත් කෙරේ. ඒ අනුව අක්කර 0.5ක් දක්වා වගා කරන ගොවීන්ට රුපියල් 23,625ක් (ඩොලර් 75) වටිනා වවුචර් ද, අක්කර 0.5 සිට අක්කර 1 දක්වා වගා කරන්නන්ට රුපියල් 28,350ක් (ඩොලර් 90) වටිනා වවුචර් ද හිමි වේ. මෙම වවුචර් භාවිතයෙන් යූරියා, ත්‍රිත්ව සුපිරි පොස්පේට් (TSP) සහ මියුරියට් ඔෆ් පොටෑෂ් (MOP) යන පොහොර ලබාගත හැකිය.
මෙම මුලපිරීම හරහා බලපෑමට ලක් වූ ගොවීන්ගේ ජීවනෝපායන් ආරක්ෂා කිරීමට සහ දේශීය ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා සඳහන් කළේය.














