ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කරමින් රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ලබන මැයි මස 03 වනදා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාවය වර්ධනය කර ගැනීම වන අතර එහිදී විශේෂයෙන්ම ඖෂධ නිෂ්පාදනය, වෛද්‍ය උපකරණ සැපයුම සහ විශේෂඥ පුහුණු වැඩසටහන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතය.
මෙම සංචාරය අතරතුර රුසියානු නියෝජිත පිරිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ නිල සාකච්ඡා පවත්වනු ඇත. එහිදී වෛද්‍ය ක්ෂේත්‍රයේ අධ්‍යාපනික සහයෝගීතාවය සහ දෙරටේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතර ඇති කර ගැනීමට නියමිත නව අවබෝධතා පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු විමසා බැලෙනු ඇත. මීට අමතරව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී පුළුල් ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනීමට කටයුතු යොදා තිබේ.
මැයි මස 04 වනදා රුසියානු අමාත්‍යවරයා ඇතුළු පිරිස කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට සැලසුම් කර ඇත. මෙමගින් ශාස්ත්‍රීය හුවමාරු වැඩසටහන්, ඒකාබද්ධ පාඨමාලා සහ උසස් වෛද්‍ය පුහුණු අවස්ථා සඳහා පවතින ඉඩකඩ සොයා බැලීම සිදු කෙරේ. තවද ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සහ සෞඛ්‍ය සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් සමඟ විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මෙම සංචාරය නිමා කරමින් රුසියානු දූත පිරිස මැයි මස 05 වනදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව ඇත.














