ගල්අඟුරු ටෙන්ඩරය අහෝසි කිරීමට රජය මෙතෙක් පියවර ගෙන නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා චෝදනා කරයි. අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ රට තුළට තවමත් ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු නැව් පැමිණෙමින් පවතින බවයි.
රටට මේ වන විට පැමිණ ඇති ගල්අඟුරු නැව් 16න් නැව් 14ක්ම ප්‍රමිතියෙන් තොර බව වාර්තා වී ඇත. මෙම තත්ත්වය හරහා විශාල මුදලක් පාඩු වන බව මහජන උපයෝගිතා කොමිසම පෙන්වා දී තිබියදීත්, රජය මෙම ගනුදෙනු දිගටම සිදුකරන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. ඩීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගනිමින් පවතින පසුබිමක මෙවැනි ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීම බරපතළ ගැටලුවක් බව ඔහු පෙන්වා දෙයි.
රජය සිය දූෂණ සහ නොහැකියාව වසා ගැනීමට අසත්‍ය ප්‍රකාශ සමාජගත කරමින් සිටින බවත්, මේ හේතුවෙන් ජනාධිපතිවරයා කෙරෙහි තිබූ විශ්වාසය පවා ජනතාවගෙන් ගිලිහී ගොස් ඇති බවත් මරික්කාර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මෙවැනි දූෂිත ගනුදෙනුවල අවසන් ප්‍රතිඵලය ලෙස අහිංසක මහජනතාවට පීඩාවන්ට මුහුණ දීමට සිදුවන බව ඔහු අවධාරණය කළේය.












