හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් මිලියන 16.6ක රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවට අදාළ විමර්ශන අවසන් කර මීළඟ නඩු දිනට පෙර නිශ්චිතවම අධිචෝදනා ගොනු කරන බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද (29) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. පෞද්ගලික සංචාරයක් නිල සංචාරයක් ලෙස මුවා කරමින් මෙරට මහජන මුදල් වැය කළ බවට සැකකරුට චෝදනා එල්ල වී තිබේ.
නඩුව කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ, බ්‍රිතාන්‍යයේ වුල්වහැම්ටන් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා සිදුකළ මෙම සංචාරය ‘Transit’ එකක් ලෙස පෙන්වමින් රුපියල් ලක්ෂ 162ක් රජයෙන් වැය කර ඇති බවයි. හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ලබාගත් ප්‍රකාශ සහ විමර්ශන වාර්තා සලකා බැලූ මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා, සැකකරුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි පවතින බව නිරීක්ෂණය කළේය. ඒ අනුව, විමර්ශන කඩිනම් කර අධිචෝදනා ගොනු කිරීම හෝ සැකකරුවන් නිදහස් කිරීම සිදුකරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, නඩුව ජූලි 08 වනදා දක්වා කල් තැබීය.














