ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 8 වැනි සහ 9 වැනි වාරයන්හි සිදුවූ මූල්‍ය භාවිතය පිළිබඳ සම්පූර්ණ විගණනයක් සිදුකර, එහි වාර්තාව මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමනායක මහතා පවසයි. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කථානායකවරයා සඳහන් කළේ, මීට පෙර විගණනයට ලක් නොවූ අංශ ද ඇතුළුව සියලු අංශ ආවරණය වන පරිදි මෙම විමර්ශනය සිදු කරන ලෙස තමන් විගණකාධිපතිවරියගෙන් ඉල්ලා සිටි බවයි.
ජනතාවගේ බදු මුදල් පරිහරණය කිරීමේදී පාරදෘශ්‍යභාවයක් තිබිය යුතු බව අවධාරණය කළ කථානායකවරයා, මෙම වාර්තාව හරහා පාර්ලිමේන්තුවේ මූල්‍ය විනය පිළිබඳව ජනතාවට පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි වනු ඇති බව ප්‍රකාශ කළේය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය විවෘත කර වසර 44ක් සැපිරීම නිමිත්තෙන් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට සහ මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියේය. ඉදිරියේදී 10 වැනි පාර්ලිමේන්තුව ද මෙලෙස විගණනයට ලක් කිරීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.














