මහ බැංකුව ස්වාධීන ආයතනයක් වීමට පෙර රට බංකොලොත් කළ බවත් ස්වාධීන වීමෙන් පසුව දැන් බැංකු පද්ධතිය බංකොලොත් කරමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. බත්තරමුල්ලේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ රුපියල 293 සිට 322 දක්වා පහත වැටීම හේතුවෙන් අයවැය තුළ රුපියල් බිලියන 40ක ගැටලුවක් මතු වන අතර ලබාගෙන ඇති ණය ප්‍රමාණය ද විශාල ලෙස ඉහළ යන බවයි. මේ නිසා රටේ අවශ්‍යතාවට සරිලන සේ මිස හිතුමනාපයට වාහන ගෙන්වීම සුදුසු නොවන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය මෙරට ආර්ථිකයට සහ සංචිතවලට බලපෑමක් නොවන බව මහ බැංකුව ප්‍රකාශ කළ ද වර්තමාන තත්ත්වය හමුවේ එම ප්‍රකාශ තවදුරටත් වලංගු දැයි ඔහු ප්‍රශ්න කර සිටියි. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් දේශපාලනයෙන් තොරව සැබෑ තත්ත්වය වටහාගෙන ආයෝජන දිරිගැන්විය යුතු බවත් ඉන්දියාවට ආසන්නව පිහිටි භූගෝලීය වාසිය භාවිත කරමින් ලංකාව ආයෝජනයට සුදුසු රටක් ලෙස ගොඩනැගිය යුතු බවත් ඔහු සඳහන් කළේය.
මහ බැංකුවේ නිලධාරීන් විසින් සිදුකළ ණය කළමනාකරණ කටයුතුවල වගකීම මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පිට පැටවීම අසාධාරණ බව පවසන කරුණානායක මහතා අමාත්‍යාංශයේ නිලධාරීන් පස් දෙනකුගේ වැඩ තහනම් කරද්දී සැබෑ ලෙසම එම කටයුතුවල නිරත වූ මහ බැංකු නිලධාරීන්ට එරෙහිව පියවර නොගැනීම පිළිබඳව ජනතාව ප්‍රශ්න කරන බව කියා සිටියේය. මීට අමතරව භාණ්ඩාගාරයේ මුදල් සම්බන්ධයෙන් හැකර්වරුන්ගේ මැදිහත්වීමක් සිදු නොවූ බවත් මාර්ග සංවර්ධන අධිකාරිය සහ තැපැල් දෙපාර්තමේන්තුවේ මුදල් ගෙවීම් සම්බන්ධයෙන් ද මේ වන විට ගැටලු පවතින බවත් මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළේය.














