මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර පෝෂණය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමේ ක්‍රියාවලියේ වර්තමාන ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ. පසුගියදා බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ නායයෑම්වලින් මධ්‍යම කඳුකරයට එල්ල වූ දැඩි බලපෑම සැලකිල්ලට ගනිමින්, මෙම කලාපය පාරිසරික වශයෙන් රැකගැනීමේ හදිසි අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඉහළ ජල පෝෂක ප්‍රදේශවල පවතින ගැටලුවලට තිරසාර විසඳුම් සෙවීම මෙම නව අධිකාරිය පිහිටුවීමේ මූලික අරමුණයි.
මෙම හමුවේදී අධිකාරිය පිහිටුවීමට අදාළ නීතිමය ප්‍රතිපාදන සහ මේ දක්වා ලබා ඇති ප්‍රගතිය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු විමසා බැලුණු අතර, විවිධ පාර්ශ්වයන් විසින් ඒ සඳහා වන යෝජනා ද ඉදිරිපත් කරන ලදී. එම යෝජනා සහ අදහස් සියල්ල සැලකිල්ලට ගනිමින් අධිකාරිය පිහිටුවීමේ ඉදිරි කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. මධ්‍යම කඳුකරයේ පාරිසරික පද්ධතියේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක් බව ද මෙහිදී අවධාරණය කෙරිණි.














