ගාසා තීරයට මානුෂීය ආධාර රැගෙන යමින් සිටි ගෝලීය සුමද් නෞකා සමූහය (Global Sumud Flotilla) ග්‍රීසියේ ක්‍රීට් දූපත ආසන්නයේදී ඊශ්‍රායල හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ජාත්‍යන්තර මුහුදු සීමාව තුළ සිදුවූ මෙම සිදුවීම සංවිධායකයින් විසින් හඳුන්වා දී ඇත්තේ නීති විරෝධී ක්‍රියාවක් සහ මුහුදු කොල්ලකෑමක් ලෙසිනි.
මෙම නෞකා සමූහය පසුගිය අප්‍රේල් 12 වන දින ස්පාඤ්ඤයේ බාසිලෝනා වරායෙන් සහ ඉතාලියේ සිට ගමන් ආරම්භ කළ අතර, ඊශ්‍රායලය විසින් පනවා ඇති නාවික අවහිරතාවය බිඳ දැමීම එහි ප්‍රධාන අරමුණ විය. කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදා යාත්‍රා මගින් නෞකාවල සන්නිවේදන කටයුතු අඩාල කරමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, ඊශ්‍රායලය පවසන්නේ මෙම නෞකා හරහා ත්‍රස්ත කටයුතු සඳහා භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ඉඩ නොදෙන බවයි.
පලස්තීනුවන්ට මානුෂීය ආධාර සැපයීම සඳහා මෙලෙස බාහිර පාර්ශ්වයන් මැදිහත් වුවද, ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ ආධාර ලබා දීමට අවශ්‍ය නම් ඒ සඳහා ස්ථාපිත කර ඇති නිල මාර්ග භාවිත කරන ලෙසයි. අදාළ සිදුවීම හේතුවෙන් ජාත්‍යන්තර මට්ටමින් දැඩි විවේචන එල්ල වෙමින් පවතින අතර, ඉදිරියේදී මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු වනු ඇත.














