සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගම සිය දේශීය නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමේ අරමුණින් ACME ප්‍රින්ටින් ඇන්ඩ් පැකේජින් පීඑල්සී සමාගමට අයත් කර්මාන්තශාලා පරිශ්‍රය මිලදී ගැනීමට පියවර ගෙන තිබේ. අප්‍රේල් 28 වන දින අත්සන් කරන ලද විකුණුම් හා මිලදී ගැනීමේ ගිවිසුමකට අනුව රුපියල් මිලියන 630ක (කෝටි 63ක) වටිනාකමකින් යුත් මෙම ගනුදෙනුව සිදු කර ඇත. පිළියන්දල, ගෝනමඩිත්ත පාරේ පිහිටි මෙම කර්මාන්තශාලා පරිශ්‍රය අත්පත් කර ගැනීම හරහා සිංගර් සමාගම අපේක්ෂා කරන්නේ සිය දේශීය නිෂ්පාදන මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීමටයි.
මෙම ආයෝජනය සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ද නිල වශයෙන් දැනුම් දී ඇති අතර, එය මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ සිංගර් සමාගම තබන තීරණාත්මක පියවරක් ලෙස සැලකේ. දේශීය වශයෙන් පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය ඉහළ නැංවීම මගින් මෙරට ආර්ථිකයට ධනාත්මක දායකත්වයක් සැපයීමට ද මෙමගින් අවස්ථාව හිමිවනු ඇත.














