ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුව ඇති බව කියන දැවැන්ත මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වන නඩු දෙකක් අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතව තිබේ.
අදාළ වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් සිව්දෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝධරගම මහතා අවසර ලබා දී ඇත. ලහිරු හර්ෂණ, පැතුම් කොතලාවල, කෝසල තරංග සහ මොහොමඩ් ඉන්හමුල් හෂාන් යන අය මෙලෙස රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවෝ වෙති.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ප්‍රධාන නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. බන්ධනාගාරය වෙත ගොස් මෙම ප්‍රකාශ ලබා ගැනීමට විමර්ශන නිලධාරීන්ට අධිකරණයෙන් බලය හිමිව ඇත.
















