ඉන්දියාවේ තමිල්නාඩුවේ මණ්ඩපම් සරණාගත කඳවුරේ සිට නීති විරෝධී ධීවර බෝට්ටුවකින් යාපනය බලා පැමිණෙමින් සිටි දෙමළ සරණාගතයන් තිදෙනෙකු සහ බෝට්ටුව පැදවූ ඉන්දියානුවන් තිදෙනෙකු මණ්ඩතිව් පොලිසිය විසින් පෙරේදා (28) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සරණාගතයන් වන්නේ යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි ජිම්ස්රිව්, ඔහුගේ බිරිඳ වන 47 හැවිරිදි රාජිනී සහ ඔවුන්ගේ 20 හැවිරිදි දියණිය වන තිබෙන්ති නැමැති අයයි. ආර්ථික අපහසුකම් හේතුවෙන් යාපනයේ ජීවත් වීමට නොහැකි බව පවසමින් මොවුන් 2022 වසරේදී බෝට්ටු මගින් ඉන්දියාවේ ධනුෂ්කොඩි පළාතට පලාගොස් මණ්ඩපම් සරණාගත කඳවුරේ රැකවරණය ලබා තිබේ. මෙලෙස උතුරු පළාතේ සිට පලාගිය පුද්ගලයන් 311 දෙනෙකු මණ්ඩපම් කඳවුරේ පසුවන අතර ඔවුන් ආපසු ශ්‍රී ලංකාවට එවීමට පවතින නීතිමය බාධා හේතුවෙන් මෙලෙස නීති විරෝධී ලෙස යළි මෙරටට පැමිණීමට උත්සාහ කර ඇති බව හෙළි වී ඇත.
සැකකරුවන්ට ගමන් පහසුකම් සැලසූ ඉන්දීය බෝට්ටුකරුවන් තිදෙනා ද පොලිස් භාරයට ගෙන ඇති අතර මෙම හයදෙනාම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.














