පෙර රජයන් සමයේ මෙරට දේශපාලන නායකයින් විසින් විදේශ රටවල සඟවා ඇති බවට සැක කෙරෙන මුදල් සෙවීම සඳහා රජය විධිමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරයි. ඊයේ (29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ උගන්ඩාව වැනි රටවල සඟවා ඇති බවට කියන මුදල් පිළිබඳව සොයා බැලීමට එම රජයන්ගෙන් ද සහය ඉල්ලා ඇති බවයි. මෙම පරීක්ෂණ අවසානයේ අදාළ පුද්ගලයන්, මුදල් ප්‍රමාණයන් සහ එම මුදල් තැන්පත් කර ඇති රටවල් පිළිබඳ සියලු තොරතුරු හෙළි කිරීමට රජය බලාපොරොත්තු වේ.
පෙර පැවැති රජයන්ට සාපේක්ෂව වත්මන් රජය වෙත ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉහළ සහයෝගයක් හිමිවන බවත්, විදේශ රටවල් සමඟ පවතින මෙම සමීප සබඳතාවය හේතුවෙන් දැනටමත් විදේශයන්හි සැඟව සිටි පාතාල කල්ලි සාමාජිකයින් රැසක් මෙරටට ගෙන්වා ගැනීමට හැකි වූ බවත් ඔහු පෙන්වා දුන්නේය. පසුගිය පාලන සමයන්හි සිදු වූ මහා පරිමාණ දූෂණ හා වංචා මගින් උපයාගත් මුදල් විවිධ රටවල ආයෝජනය කර ඇති බවට විශ්වාස කරන බවත්, එම ජනතා ධනය යළි මෙරටට ලබා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අඛණ්ඩව ගන්නා බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.














