“ආශ්චර්යමත් ගස” ලෙස හැඳින්වෙන මුරුංගා ගසෙහි ඇටවලට පානීය ජලයේ අඩංගු PVC මයික්‍රොප්ලාස්ටික් අංශු ඉවත් කිරීමේ සුවිශේෂී හැකියාවක් පවතින බව බ්‍රසීලයේ සහ බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයින් පිරිසක් සොයාගෙන තිබේ.
මුරුංගා ඇට “කැටිකාරකයක්” (Coagulant) ලෙස ක්‍රියා කරමින් ජලයේ ඇති කුඩා මයික්‍රොප්ලාස්ටික් අංශු එකිනෙක ඇලවීමට සලස්වන අතර එමගින් එම අංශු විශාල වී පහසුවෙන් පෙරා ඉවත් කළ හැකි තත්ත්වයට පත් වේ. මෙමගින් මිනිස් කෙස් ගසක ඝනකමෙන් හතරෙන් එකක් පමණ වන ඉතා කුඩා PVC අංශු පවා ඉවත් කිරීමට හැකියාව ලැබී ඇත. එක් මුරුංගා ඇටයකින් ජලය ලීටර් 10ක් පමණ පිරිපහදු කළ හැකි බව පර්යේෂකයෝ පවසති.
දැනට ජලය පිරිපහදු කිරීමට භාවිතා කරන ‘ඇලුමිනියම් සල්ෆේට්’ වැනි රසායනික ද්‍රව්‍ය මෙන් නොව මුරුංගා ඇට ස්වභාවිකව දිරාපත් වන අතර පරිසරයට විෂ සහිත නොවේ. ඇලුමිනියම් අධික ලෙස ශරීරගත වීම ස්නායු රෝග ඇති වීමට බලපෑ හැකි බැවින් මෙය වඩාත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයකි. ලොව පුරා නළ ජලයෙන් 83%ක පමණ මයික්‍රොප්ලාස්ටික් අඩංගු බව හෙළි වී ඇති පසුබිමක මෙම ස්වභාවික විසඳුම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල ජයග්‍රහණයක් ලෙස සැලකේ.














