ශ්‍රී ලංකාව තුළ පාම් වගාව තහනම් කර තිබීම හේතුවෙන් 2025 වසරේදී පාම් තෙල් ආනයනය සඳහා පමණක් රුපියල් මිලියන 140,022ක දැවැන්ත මුදලක් වැය කිරීමට සිදුව ඇති බව මහාචාර්ය අසෝක නුගවෙල මහතා පවසයි. ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඔහු පෙන්වා දුන්නේ 2025 වසරේදී පාම් තෙල් මෙට්‍රික් ටොන් 38,210ක් සහ පොල්තෙල් මෙට්‍රික් ටොන් 33,696ක් මෙරටට ආනයනය කර ඇති බවයි. මෙය 2024 වසරේ ආනයනය කරන ලද පාම් තෙල් මෙට්‍රික් ටොන් 34,708ක ප්‍රමාණයට වඩා කැපී පෙනෙන වර්ධනයක් බවත්, දේශීය වගාවන් ව්‍යාප්ත කිරීමට ඉඩ ලබා දුන්නේ නම් මෙම විදේශ විනිමය රට තුළ ඉතිරි කර ගැනීමට හැකියාව තිබූ බවත් ඔහු අවධාරණය කළේය.
2021 වසරේ සිට ක්‍රියාත්මක වන පාම් වගා තහනම හේතුවෙන් හෙක්ටයාර 8,000ක පමණ අලුතින් වගා කිරීමට තිබූ අවස්ථාව අහිමි වී ඇති අතර, ලෝකයේ මෙවැනි වගා තහනමක් පනවා ඇති එකම රට ශ්‍රී ලංකාව බව ද මහාචාර්යවරයා මෙහිදී පවසා සිටියේය. නිසි ක්‍රමවේද අනුගමනය කරමින් වගා කරන්නේ නම් හෙක්ටයාරයකින් පාම් තෙල් මෙට්‍රික් ටොන් හතරක පමණ අස්වැන්නක් ලබාගත හැකි බවත්, ලෝක වෙළඳපොළේ පාම් තෙල් මෙට්‍රික් ටොන් එකක මිල මේ වන විට ඇමෙරිකානු ඩොලර් 1,100ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. දේශීය අවශ්‍යතාව සපුරා ගැනීමටත් විදේශ විනිමය ඉතිරි කර ගැනීමටත් මෙම තහනම පිළිබඳව නැවත සලකා බැලීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡාවට ලක්විය.














