බ්‍රිතාන්‍යය බලා පැමිණෙන වාණිජ ගුවන් යානාවල මගී කුටීර (Cabin) තුළ කුඩා සුරතල් සතුන්ට ගමන් කිරීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් කළ පෙත්සමක් පිළිබඳව මේ වන විට ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ. “Deadpool & Wolverine” චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ, බ්‍රිතාන්‍යයේ කැතම බල්ලා ලෙස විරුදාවලිය ලත් ‘පෙගී’ (Peggy) නම් සුනඛයාගේ හිමිකාරිය වන හොලි මිඩ්ල්ටන් මෙම වැඩපිළිවෙළට නායකත්වය ලබා දෙයි. දැනට පවතින රෙගුලාසි අනුව බ්‍රිතාන්‍යයෙන් පිටවන ගුවන් යානාවල සුරතල් සතුන් රැගෙන යාමට අවසර තිබුණද, එරටට ඇතුළු වන යානාවලදී සතුන් භාණ්ඩ ප්‍රවාහන අංශයේ (Cargo) පමණක් රැගෙන යාම අනිවාර්ය කර ඇත.
මෙම නීතිමය බාධාව නිසා සුරතල් සතුන් ඇති කරන්නන් දැඩි අපහසුතාවයට පත්ව සිටින අතර, විශේෂයෙන්ම ශ්වසන අපහසුතා ඇති සුනඛ විශේෂ (Snub-nosed breeds) භාණ්ඩ ප්‍රවාහන අංශයේ ගමන් කරවීමේදී ජීවිත අවදානමක් පවතින බව ඔවුහු පෙන්වා දෙති. පුද්ගලයන් 12,000කට අධික පිරිසක් අත්සන් කර ඇති මෙම පෙත්සම මගින් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය සහ ආරක්ෂක රෙගුලාසිවලට යටත්ව අනෙකුත් රටවල මෙන් සුරතල් සතුන්ට මගී කුටීරයේ ගමන් කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසයි. කෙසේ වෙතත්, සතුන් කෙරෙහි අසාත්මිකතා පවතින මගීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ රටේ ජෛව ආරක්ෂණ ක්‍රමවේදයන් කෙරෙහි ද රජයේ අවධානය යොමුවිය යුතු බව බ්‍රිතාන්‍ය බලධාරීන් සහ සෞඛ්‍ය සංවිධාන අවධාරණය කරයි.














