අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සඳහා රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබාගත් බව කියන පෑලියගොඩ පොලිසියේ දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරියෙකු ලබන මැයි 12 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (30) නියෝග කළේය.
අදාළ අල්ලස ලබාගන්නා අවස්ථාවේදී එහි සිටි තවත් පොලිස් නිලධාරියෙකු පළා ගොස් ඇති බවත් ඔහු සොයා විමර්ශන පවත්වන බවත් අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොලිසියේ උසස් නිලධාරීන්ගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් නොකර සිටීමට කනිෂ්ඨ නිලධාරියෙකුට තනිව හැකියාවක් නොමැති බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබීය.














