අද (මැයි 1) පැවැත්වෙන මැයි දින රැලී සහ පෙළපාලි වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ බුද්ධි අංශ නිලධාරීන් දහස් ගණනක් ආරක්ෂාව සඳහා යොදවා ඇති අතර රථවාහන ගමනාගමනයට බාධා නොවන පරිදි විශේෂ රථවාහන සැලසුම් ද හඳුන්වා දී ඇත.
කොළඹට අමතරව අනුරාධපුරය, කුරුණෑගල, මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුරය, කෑගල්ල, ගාල්ල, මාතර සහ කළුතර යන නගරවල ද ප්‍රධාන රැලී පැවැත්වෙන බැවින් එම ප්‍රදේශවල ආරක්ෂාව සහ මහජන සාමය තහවුරු කිරීමට පොලිස්පතිවරයා විසින් සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට විශේෂ උපදෙස් ලබා දී ඇත.
මහරගම ජාතික තරුණ සේවා සභාව ඉදිරිපිට ජාතික ජන බලවේගයේ රැලිය පැවැත්වෙන අතර එම ප්‍රදේශයේ ඇති විය හැකි තදබදය හේතුවෙන් රියදුරන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දන්වා ඇත. මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ සමගි ජන බලවේගයේ රැලියත්, බොරැල්ල කැම්බල් පිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැලියත් පැවැත්වේ. හයිඩ් පිටියේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රැලිය ද, කොම්පඤ්ඤවීදිය ඊ. ඒ. ගුණසිංහ ක්‍රීඩාංගණයේ වෘත්තීය සමිති ඒකාබද්ධ රැලිය ද සංවිධානය කර ඇත.
තවද ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහ සමාජවාදී ජනතා පෙරමුණේ ඒකාබද්ධ රැලිය ආයුර්වේද හන්දියෙන් ආරම්භ වී බොරැල්ල දෙසට ගමන් කිරීමට නියමිතය. මෙම උත්සව පැවැත්වෙන අවස්ථාවන්හිදී රථවාහන පාලනය සඳහා පොලිසිය ලබා දෙන උපදෙස් පිළිපදින ලෙස සහ අද දිනයේ ගමන් බිමන්වල යෙදෙන විට වැඩි අවධානයකින් යුතුව කටයුතු කරන ලෙස බලධාරීන් රියදුරන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.














