රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා මෙවර මැයි දින සැමරුම වෙනුවෙන් අදහස් දක්වමින් අවධාරණය කළේ කෝටිපතියන්ට පෙර කම්කරුවාට ප්‍රමුඛතාව ලබා දීම මෙවර මැයි දින තේමාව බවයි. මූලික මානව හිමිකම් සහ කම්කරු අයිතිවාසිකම් පිළිබඳව වැඩකරන ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ඒ මහතා, වර්තමානයේ වැඩකරන ජනතාවට සාධාරණයක් ඉටුවී ඇත්ද යන්න බරපතළ ප්‍රශ්නයක් බව සඳහන් කළේය.
පවතින ජීවන වියදම හමුවේ ජනතාවට දෛනික ජීවිතය පවත්වාගෙන යාම ඉතා අසීරු වී ඇති බව රත්නප්‍රිය මහතා වැඩිදුරටත් කියා සිටියේය. විදුලි බිල නැවතත් ඉහළ දැමීමට ආණ්ඩුව සූදානම් වීම මෙන්ම, මෑතකදී ලබාදුන් සුළු වැටුප් වැඩිවීමෙන් ජනතාවට කිසිදු සහනයක් නොලැබුණු බවත්, එම වැටුප් වැඩිවීමේ වටිනාකම උද්ධමනය හමුවේ අහෝසි වී ගොස් ඇති බවත් ඔහු චෝදනා කළේය.
වර්තමාන රජයේ අකාර්යක්ෂමතාව පිළිබඳව ද දැඩි විවේචනයක් එල්ල කළ සමන් රත්නප්‍රිය මහතා, රටේ පරිපාලනය සහ රාජ්‍ය කටයුතු නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව පැවසීය. විශේෂයෙන්ම මූල්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව හමුවට පැමිණීම ප්‍රතික්ෂේප කිරීම බරපතළ කරුණක් බව පෙන්වා දුන් ඒ මහතා, අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කර ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙස ද බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.














