භාණ්ඩාගාර මුදල් වංචාව සම්බන්ධයෙන් විධිමත් විමර්ශන සඳහා මුල් වූයේ සහ ඒ පිළිබඳ පළමු පැමිණිල්ල ඉදිරිපත් කළේ අභිරහස් ලෙස මියගිය සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත මහතා බව හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
මියගිය රංග නිශාන්ත මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන අතර ඔහු ඉතා අවංක නිලධාරියෙකු ලෙස සමීපතමයින් හඳුන්වන බව තෙන්නකෝන් මහතා සඳහන් කළේය. මෙම මංකොල්ලයට අදාළ ඊමේල් පණිවිඩය කියවා ඒ පිළිබඳව ඉහළ නිලධාරීන් දැනුවත් කරමින් විමර්ශන සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ ඔහුය. ඔහුගේ මරණය අතිශය අභිරහස් බවත් ඒ සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා වගකිව යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.
පත් කළ කමිටු වාර්තාව මගින් නිලධාරීන් හතර දෙනෙකුට අභ්‍යන්තර ස්ථාන මාරුවීම් ලබා දීමට නිර්දේශ කර තිබුණද භාණ්ඩාගාරය එම නිර්දේශ පසෙකලා ඔවුන්ගේ වැඩ තහනම් කර ඇති බව හෙළි විය. මූලික විමර්ශනයකින් තොරව සහ තමන්ගේ පාර්ශවය ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා නොදී මෙලෙස වැඩ තහනම් කිරීම බරපතළ ගැටලුවක් බව තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි. මේ හේතුවෙන් අදාළ නිලධාරීන් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටි බව ඔහු ප්‍රකාශ කළේය.
මියගිය රංග නිශාන්ත මහතා මෙන්ම මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින තවත් එක් නිලධාරියෙකු ද මෙ හා සමානම දැඩි මානසික පීඩනයකින් පසුවන බවට තොරතුරු ලැබී ඇතැයි හිටපු ආණ්ඩුකාරවරයා අනතුරු ඇඟවීය. කටවචනයට නියෝග දෙන ලේකම්වරුන් යටතේ රාජ්‍ය නිලධාරීන් අසරණ නොවිය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.













