ඕස්ට්‍රේලියාවේ ඇලිස් ස්ප්‍රින්ග්ස් (Alice Springs) නුවරදී 5 හැවිරිදි ආදිවාසී දැරියක වන කුමන්ජයි ලිට්ල් බේබි (Kumanjayi Little Baby) ඝාතනය කිරීමේ සැකකරු පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමඟ එම ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
අදාළ සැකකරු (47) එම දැරිය ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් අවස්ථාවේදී, ප්‍රදේශවාසීන් විසින් ඔහුව පහර දී සිහිසුන් කර තිබූ බව වාර්තා වේ. පසුව පොලිසිය විසින් ඔහුව ප්‍රතිකාර සඳහා ඇලිස් ස්ප්‍රින්ග්ස් රෝහල වෙත රැගෙන යන ලදී. මෙයට විරෝධය පළ කරමින් සහ යුක්තිය ඉල්ලා සිටිමින් ආදිවාසී ප්‍රජාවට අයත් 400කට අධික පිරිසක් රෝහල ඉදිරිපිට රැස්වී පොලිසිය සහ හදිසි සේවා නිලධාරීන් සමඟ ගැටුම් ඇති කරගෙන ඇත.
මෙම සිදුවීමත් සමඟම ඕස්ට්‍රේලියානු අගමැතිවරයා, උතුරු ප්‍රදේශයේ පොලිස් කොමසාරිස්වරයා සහ දැරියගේ පවුලේ නියෝජිතයන් විසින් මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියේ ප්‍රචණ්ඩ ක්‍රියා නතර කර සාමය ආරක්ෂා කරන ලෙසයි. ගැටුම් අතරතුර පොලිස් වාහනයකට ගිනි තබා තිබූ අතර, නීතිය සහ සාමය පවත්වා ගැනීම සඳහා බලධාරීන් මැදිහත් වී ඇත.














