සැකකටයුතු ලෙස මියගිය මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂගේ මරණය, ඔහු විසින්ම සිදුකරගත් තුවාල නිසා සිදුවූ සියදිවි නසාගැනීමක් බව අධිකරණ වෛද්‍ය නිලධාරීන් සිව්දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුව තහවුරු කර තිබේ.
මහ භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සේවය කළ ඔහු, අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි නිලධාරියෙකි. අප්‍රේල් 30 වනදා සිය ගෙවත්තේදී මියගොස් සිටි ඔහුගේ සිරුරේ අත් සහ පාදවල කැපුම් තුවාල දක්නට ලැබුණු අතර, ඒ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (01) කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී පවත්වනු ලැබීය.
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් පත්කරන ලද මෙම වෛද්‍ය මණ්ඩලය ලබාදුන් වාර්තාවට අනුව, මෙම මරණය ඝාතනයක් නොව සියදිවි නසාගැනීමක් බවට නිගමනය කර ඇත.
මෙම නිලධාරියා සම්බන්ධ වී සිටි ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාව පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් තවදුරටත් ක්‍රියාත්මක වේ.














