ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ යම් අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බවත්, ඒ හේතුවෙන් ඉදිරියේදී තවත් කුඩා ප්‍රමාණයකින් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මැයි රැලිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
දැනට ඩීසල් ලීටරයක් සඳහා රජය රුපියල් 100ක සහනාධාරයක් ලබාදෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, පවතින තත්ත්වය හමුවේ ඉන්ධන සහනාධාරය වෙනුවෙන් රුපියල් කෝටි 6000ක් වෙන් කර ඇති බවද පැවසීය. ගල්අඟුරු මිල ඉහළ යාම සහ ජලාශවල ජල මට්ටම අඩුවීම හේතුවෙන් විදුලි උත්පාදනයටද බලපෑම් එල්ල වී ඇති බවත්, කෙසේ වෙතත් විදුලි පාරිභෝගිකයන්ගෙන් සියයට 96කට කිසිදු මිල වැඩිවීමක් සිදු නොකර සහනාධාර ලබාදීමට රුපියල් කෝටි 1500ක් වැය කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
ලෝක දේශපාලන තත්ත්වයන් සහ පවතින වියළි කාලගුණය බලශක්ති ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල කර ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.














