කෘතිම බුද්ධි (AI) යටිතල පහසුකම් ව්‍යාප්ත වීම හේතුවෙන් නිර්මාණය වී ඇති මතක චිප් හිඟය සිය ව්‍යාපාර කෙරෙහි වැඩි බලපෑමක් එල්ල කළ හැකි බව Apple සමාගම අනතුරු අඟවා තිබේ. Apple ප්‍රධාන විධායක නිලධාරී Tim Cook ප්‍රකාශ කළේ මතක චිප් සඳහා වැයවන පිරිවැය ඉහළ යාම සමාගමට දැඩි ලෙස බලපාන අතර ඒ සඳහා ගත හැකි විවිධ විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව සමාගම අවධානය යොමු කරමින් සිටින බවයි.
මතක චිප් සැපයුම් සීමාවන් මෑතකදී මතු වූ බවත් ඒ හේතුවෙන් තුන්වන කාර්තුවේදී ඇතැම් Mac පරිගණක මාදිලිවල නිෂ්පාදනයට බලපෑම් එල්ල විය හැකි බවත් Tim Cook පුරෝකථනය කර ඇත. Apple සමාගම පසුගිය කාර්තුවේදී වෙළඳපොළ අපේක්ෂාවන් ඉක්මවා යන ආදායමක් වාර්තා කර තිබුණද මෙම සැපයුම් ගැටලු ඉදිරියේදී අභියෝගයක් වනු ඇත.
මතක චිප් මිල ඉහළ යාම Apple සමාගමට පමණක් නොව Microsoft සහ Meta වැනි අනෙකුත් ප්‍රධාන තාක්ෂණික සමාගම්වලට ද බලපා තිබේ. Microsoft සමාගම 2026 වසර සඳහා සිය ප්‍රාග්ධන වියදම ඩොලර් බිලියන 190ක් ලෙස පුරෝකථනය කර ඇති අතර උපාංග මිල ඉහළ යාම හේතුවෙන් එල්ල වන බලපෑම ඩොලර් බිලියන 25ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. Meta සමාගම ද සිය ප්‍රාග්ධන වියදම් පුරෝකථනය ඩොලර් බිලියන 135 සිට ඩොලර් බිලියන 145 දක්වා ඉහළ නංවා ඇත්තේ උපාංග මිල ඉහළ යාමේ පිරිවැය පියවා ගැනීම සඳහායි.














