මෙරට මුහුදු තීරයේ පවතින ඉන්ධන සහ ගෑස් සම්පත් නිස්සාරණය කර ගැනීමට නොහැකි වී ඇත්තේ විවිධ පාර්ශ්වයන්ගේ බලපෑම් සහ බලශක්ති සුරක්ෂිතභාවයට එරෙහිව කටයුතු කරන කණ්ඩායම් නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ආචාර්ය චන්දිමා විජයගුණවර්ධන මහත්මිය විසින් රචිත කෘතියක් එළිදැක්වීමේ උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ, පසුගිය වසර 7 තුළ රට මුහුණ දුන් අභියෝග රැසක් නිසා ආර්ථික, සමාජීය සහ ආහාර සුරක්ෂිතතාව බරපතල අර්බුදයකට ලක්ව ඇති බවයි. සුපුරුදු දර්ශනවලට කොටු නොවී, දේශීය සම්පත් උපයෝගී කර ගනිමින් රට ස්වයංපෝෂිත කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය.
තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ, සමගි ජන බලවේගයේ බලශක්ති ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ විශේෂඥයන් ද පෙන්වා දී ඇත්තේ මෙරට බලශක්ති අංශය යැපෙන්නේ විදේශීය බලපෑම් මත බවත්, දේශීය ඉන්ධන සහ ගෑස් නිධි නිසි පරිදි භාවිත කිරීම තුළින් රටට විදේශීය යැපීමෙන් මිදී ස්වයංපෝෂිත විය හැකි බවත්ය. කෙසේ වෙතත්, ඇතැම් අන්ත දක්ෂිණාංශික සහ නව ලිබරල්වාදී කණ්ඩායම් විසින් දේශීය සම්පත් පසෙකලා අධිරාජ්‍යවාදී සංකල්ප ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බවට ද විපක්ෂ නායකවරයා මෙහිදී චෝදනා කළේය.














