මෑතකාලීනව මෙරට විවිධ ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන් සහ වෘත්තීයවේදීන් ඇතුළු 3000කට අධික පිරිසක් සයිබර් හැකර්වරුන්ගේ විවිධ වංචනික ක්‍රියාවන්ට ගොදුරු වී ඇති බවට පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි. විශේෂයෙන්ම පරිගණක සාක්ෂරතාව අඩු පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් මෙම වංචා සිදු කෙරෙන අතර, ඔවුන්ගේ ජංගම දුරකථනවල ඇති වට්සැප් (WhatsApp) ගිණුම් හැක් කිරීම හරහා එම ගිණුම්වල හිමිකරුවන්ගේ හිතවතුන්ව රවටා ලක්ෂ ගණනින් මුදල් ලබාගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව විමර්ශනවලදී තහවුරු වී තිබේ.
මෙම වංචනික ක්‍රියාවල නිරත වූ සැකකරුවන් කිහිප දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් පිරිසක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය පරීක්ෂණ පවත්වයි. සයිබර් අපරාධකරුවන් විසින් ජංගම දුරකථනවලට හදිසියේ එවන සැකකටයුතු ‘ලින්ක්’ (Links) හෝ ‘ෆයිල්’ (Files) විවෘත කිරීමෙන් වළකින ලෙස පොලිසිය ජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටියි. එමෙන්ම, හිතවතුන්ගේ දුරකථනවලින් මුදල් ඉල්ලා පණිවිඩ ලැබුණහොත් එකවර මුදල් බැර නොකර, අදාළ පුද්ගලයා අමතා අනන්‍යතාව සහ ඉල්ලීමේ සත්‍යතාව නැවත තහවුරු කරගන්නා ලෙස ද පොලිසිය වැඩිදුරටත් අවධාරණය කරයි.














