වඳභාවයෙන් පෙළෙන පිරිමින් සඳහා නව බලාපොරොත්තුවක් එක් කරමින්, ඔවුන්ගේ සිරුරේ පවතින අතිශය දුර්ලභ ශුක්‍රාණු සෛල හඳුනා ගැනීමට කෘතිම බුද්ධිය (AI) භාවිතා කළ හැකි නව තාක්ෂණයක් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් නිපදවා තිබේ. ‘ස්ටාර්’ (Star – Sperm Track and Recovery) ලෙස නම් කර ඇති මෙම පද්ධතිය, සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමවලට හසු නොවන දුර්ලභ ශුක්‍රාණු සෛල ඉතා නිවැරදිව හඳුනා ගැනීමට සමත් වේ.
මෙම තාක්ෂණය අභ්‍යවකාශයේ නව තරු සෙවීම සඳහා තාරකා විද්‍යාඥයන් භාවිතා කරන AI ක්‍රමවේදයට සමාන ලෙස නිර්මාණය කර ඇත. මිනිස් කෙස් ගසකටත් වඩා සිහින් නාල සහිත වීදුරු තහඩුවක් හරහා ලබාගන්නා සාම්පල, තත්පරයට රූප 300ක වේගයකින් අධිවේගී රූපගත කිරීමකට ලක් කෙරේ. මෙහිදී අනෙකුත් අපද්‍රව්‍ය අතර සැඟවී ඇති දුර්ලභ ශුක්‍රාණු සෛල AI මගින් ක්ෂණිකව හඳුනාගෙන, මිලි තත්පර කිහිපයක් තුළ රොබෝ පද්ධතියක් මගින් ඒවා වෙන් කර ගනී.
මෙම තාක්ෂණයේ සාර්ථකත්වය සනාථ කරමින්, නිව් ජර්සි හි පෙනෙලොප් සහ සැමුවෙල් යුවළ තමන්ගේම ජෛව විද්‍යාත්මක දරුවෙකු ලැබීමේ භාග්‍යය උදා කරගෙන ඇත. ‘ක්ලයින්ෆෙල්ටර් සින්ඩ්‍රෝමය’ නමැති ජානමය තත්ත්වය හේතුවෙන් සැමුවෙල්ගේ ශුක්‍ර තරලයේ ශුක්‍රාණු නොමැති බව මීට පෙර නිගමනය කර තිබුණද, ‘ස්ටාර්’ පද්ධතිය මගින් ඔහුගේ පටක සාම්පලයකින් ශුක්‍රාණු සෛල 8ක් සොයා ගැනීමට හැකි විය. ඉන් සාර්ථක වූ කළලයක් මගින් පෙනෙලොප් මේ වන විට ගැබ්ගෙන සිටින අතර, ලබන ජූලි මාසයේ උපත ලැබීමට නියමිත ඔවුන්ගේ දරුවා මෙම තාක්ෂණය හරහා උපදින ලොව පළමු දරුවා වනු ඇත.
ලොව පුරා පිරිමින්ගෙන් 1%ක් පමණ පෙළෙන ‘Azoospermia’ තත්ත්වයට මෙය මහඟු පිටුවහලක් වුවද, මෙය තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බව විශේෂඥයන් පෙන්වා දෙයි. කෙසේ වෙතත්, වඳභාවයට ප්‍රතිකාර කිරීමේ ක්ෂේත්‍රයේ මෙය දැවැන්ත පිම්මක් වන අතර, දරුවන් නොමැතිව පීඩා විඳින ලොව පුරා මිලියන සංඛ්‍යාත යුවළවලට මෙය නව ජීවයක් එක් කර තිබේ.














