හොර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම හේතුවෙන් ගෝලීය පොහොර සැපයුම් දාමය බරපතල ලෙස බිඳ වැටී ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) පවසයි. යුද්ධය ආරම්භ වූ දා සිට පොහොර නෞකා ගමනාගමනය ඇණහිටීම නිසා ඇතිවී තිබෙන මිල ඉහළ යාම සහ හිඟය හමුවේ, ගෝලීය භෝග අස්වැන්න සියයට 30කින් පමණ පහත වැටීමේ අවදානමක් පවතින බව විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මැක්සිමෝ ටොරියෝ පෙන්වා දෙන්නේ ආසියාවේ ඇතැම් රටවල වගා කාලය දැනටමත් අවසන් වී ඇති බැවින් තත්ත්වය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බවයි. මෙම අර්බුදය හමුවේ ඇමරිකාව සහ බ්‍රසීලය වැනි ප්‍රධාන අපනයනකරුවන් තිරිඟු සහ බඩ ඉරිඟු වගාව වෙනුවට සෝයා බෝංචි වැනි නයිට්‍රජන් ගබඩා කරන භෝග වගාවට යොමු වීමේ ප්‍රවණතාවක් පවතින බව ඔහු සඳහන් කරයි. එසේම, බොරතෙල් මිල ඉහළ යාම නිසා සමහර ගොවීන් ආහාර භෝග වෙනුවට ජෛව ඉන්ධන නිෂ්පාදනය සඳහා භෝග වගා කිරීමට පෙළඹිය හැකි බවද ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.
තිරිඟු සහ සෝයා බෝංචි මිල දැනටමත් ඉහළ යාමට පටන්ගෙන ඇති අතර, ඉදිරි වසර තුළ වෙළඳ භාණ්ඩ මිල ගණන් විශාල වශයෙන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමට අමතරව බලශක්ති මිල ගණන් ඉහළ යාමද ආහාර උද්ධමනය කෙරෙහි සෘජුවම බලපෑම් කරනු ඇත. කාලය ගතවත්ම මෙම තත්ත්වය වඩාත් නරක අතට හැරෙමින් පවතින බව පවසන ටොරියෝ මහතා, මෙය ගෝලීය වශයෙන් ක්‍රමයෙන් වර්ධනය වන බරපතල අර්බුදයක් බව අවධාරණය කරයි.














