ඩොලර් මිලියන දෙකහමාරක් අස්ථානගත වීම හුදෙක් මහ බැංකුවේ ඇති වූ තාක්ෂණික ගැටලුවක් බවත්, ඊට දේශපාලන අධිකාරියේ සම්බන්ධයක් නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අවධාරණය කරයි.
මෙම සිදුවීම දේශපාලන තීරණයක් මත සිදුවූවක් නොවන බවත්, ජනාධිපතිවරයා මහ බැංකුවේ සේවය නොකරන බවත් ඔහු පෙන්වා දෙයි. පාසලක පන්ති කාමරයක සිදුවන දෙයකට අධ්‍යාපන අමාත්‍යවරයා වගකිව යුතු නැතැයි යන උදාහරණය දක්වමින් ඔහු ප්‍රකාශ කළේ මෙය හුදෙක් තාක්ෂණික හා පරිපාලනමය කාරණයක් බවයි.
මුදල් ලේකම්වරයාගේ අසමත්භාවය නිසා මෙම මුදල් අහිමි වූ බවට එල්ල වන චෝදනා නියෝජ්‍ය අමාත්‍යවරයා බැහැර කරයි. ජනාධිපතිවරයා ඔහු කෙරෙහි තැබූ විශ්වාසය නිවැරදි බවත්, ලේකම්වරයා දේශීය මෙන්ම විදේශීය ආයතනවල සේවය කළ පළපුරුදු නිලධාරියෙකු බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම සිදුවීම දැනගත් වහාම රජය මැදිහත් වී විමර්ශන ආරම්භ කිරීමට උපදෙස් ලබා දී තිබේ. මීට අමතරව ඇමරිකාවට යවන ලද මුදලක් අතුරුදන් වීම පිළිබඳවද මේ වන විට විමර්ශන ක්‍රියාත්මක වේ. මේ සියල්ල නිලධාරීන් අතින් සිදුවූ තාක්ෂණික ගැටලු මිස දේශපාලන අතපසුවීම් නොවන බව වටගල මහතා වැඩිදුරටත් කියා සිටියේය.














