අටමස්ථානාධිපති හිමියන්ගේ නම සම්බන්ධ වී තිබෙන බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් පිළිබඳව පොලිසිය සහ ළමා ආරක්ෂණ අධිකාරිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. වයස අවුරුදු 15ක දැරියක බස් කොන්දොස්තරවරයෙකු සමඟ පැන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගේ මව කළ පැමිණිල්ලක් මත මෙම සිදුවීම අනාවරණය වී තිබේ.
තමන් පුද්ගලයින් දෙදෙනෙකු අතින් අපයෝජනයට ලක්වූ බවත් ඉන් එක් අයෙකු අටමස්ථානාධිපති හිමියන් බවත් දැරිය ප්‍රකාශ කර ඇත. මව විසින් මුදල් ලබාගැනීමේ අරමුණින් තමන්ව මෙම තත්ත්වයට පත් කළ බවටද ඇය චෝදනා කරයි. දැරියගේ ප්‍රකාශය මත වළලා තිබූ ලේ තැවරුණු ඇඳුම් සොයාගෙන ඇති අතර ඒවා ඩීඑන්ඒ පරීක්ෂණ සඳහා යොමු කර ඇත. සැකකාර හිමිනමක විසින් එවන ලදැයි කියන කෙටි පණිවිඩ සම්බන්ධයෙන්ද දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමට අධිකරණ නියෝග ලබාගෙන තිබේ.
දැරිය සහ මව විටින් විට තම ප්‍රකාශයන් වෙනස් කිරීම විමර්ශනවලට දැඩි බලපෑමක් වී ඇත. තම දියණියට එවැනි අපයෝජනයක් සිදු නොවූ බව මව පවසන නමුත් ඇයට එරෙහිව දැරිය විකිණීමේ චෝදනා එල්ල වී තිබේ. අටමස්ථානාධිපති හිමියන් පවසා ඇත්තේ එම පවුලේ ආර්ථික අපහසුතා හේතුවෙන් තමන් මූල්‍යමය උපකාර පමණක් සිදු කළ බවයි. විහාරස්ථානය අසල පොලිස් මුරපොළේ නිලධාරීන් මෙවැනි සැකකටයුතු සිදුවීමක් නිරීක්ෂණය කර නොමැති බව ප්‍රකාශ කර ඇත.
විද්‍යාත්මක සාක්ෂි නොමැතිව ප්‍රබල ආගමික නායකයෙකු අත්අඩංගුවට ගැනීම නීතිමය වශයෙන් ගැටලු සහගත බැවින් ඩීඑන්ඒ සහ දුරකථන දත්ත මගින් චෝදනා තහවුරු කරගැනීම විමර්ශකයන්ගේ අරමුණයි. මෙම විමර්ශන සඳහා කිසිදු දේශපාලන හෝ බාහිර බලපෑමක් එල්ල වී නොමැති බව තහවුරු වී ඇත. සිද්ධියට සම්බන්ධ බව කියන දඹුල්ලේ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට නියමිත අතර සියලු තොරතුරු වැඩිදුර නීතිමය අධ්‍යයනය සඳහා පොලිස් නීති අංශය වෙත යොමු කර තිබේ.














