මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා සම්බන්ධයෙන් ලිංගික විෂමාචාර චෝදනා නගමින් “අයේෂා” (Aisha) නම් වාර්තාමය වීඩියෝවක් නිකුත් කළ ‘අදාදු’ (Adhadhu) ප්‍රවෘත්ති ආයතනයට එරෙහිව එරට පොලිසිය විසින් දැඩි නීතිමය පියවර ගෙන තිබේ. අප්‍රේල් 27 වනදා රාත්‍රියේ එම ආයතනය වටලා පැය හතරක කාලයක් සෝදිසි කිරීම් සිදුකළ පොලිසිය, එහි තිබූ පරිගණක, පෙන් ඩ්‍රයිව් සහ අනෙකුත් තාක්ෂණික උපකරණ සිය භාරයට ගෙන ඇත. මෙම පියවර ගෙන ඇත්තේ මාලදිවයිනේ අපරාධ අධිකරණයක් මගින් නිකුත් කළ සෝදිසි වරෙන්තුවකට අනුවයි.
මෙම ආයතනයට සහ එහි කාර්ය මණ්ඩලයට එරෙහිව ඉස්ලාමීය නීතියට අනුව “කස්ෆ්” (Qazf) හෙවත් කාමමිථ්‍යාචාරය පිළිබඳ අසත්‍ය චෝදනා නැගීමේ බරපතල අපරාධ චෝදනාව එල්ල කර තිබේ. මෙම චෝදනාව ඔප්පු වුවහොත් වසර හතරක සිරදඬුවමක් සහ කස පහර 80ක් දක්වා ශාරීරික දඬුවම් නියම විය හැකිය. මේ වන විට ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී හුසේන් ෆියාස් මූසා සහ කර්තෘ හසන් මොහොමඩ් යන අයගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර ද අත්අඩංගුවට ගෙන ඇත. තමන්ට එල්ල වී ඇති සියලුම චෝදනා ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර, මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත් ඔහු ප්‍රකාශ කර තිබේ. මෙම ක්‍රියාමාර්ගය මාධ්‍ය නිදහසට එල්ල කරන ලද ප්‍රහාරයක් ලෙස ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන සහ මාලදිවයින් මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් විවේචනය කරනු ලබයි.














