මැයි දිනයට ප්‍රථම ඉන්ධන මිල වැඩි කළේ නම් ජාතික ජන බලවේගයේ මැයි දින රැලියට ජනතාව පැමිණෙන්නේ නැති නිසා රජය හිතාමතාම මිල සංශෝධනය ප්‍රමාද කළ බව නිදහස් නීතිඥවරුන්ගේ සංගමයේ කැඳවුම්කරු, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ හැටන් නගරයේ පැවති මාධ්‍ය හමුවකදීය.
සාමාන්‍යයෙන් සෑම මසකම පළමුවනදා සිදුකරන ඉන්ධන මිල සංශෝධනය මෙවර මැයි දෙවනදා දක්වා ප්‍රමාද කළේ ජනතාව රැවටීම සඳහා බව ගුණරත්න මහතා අවධාරණය කරයි. මැයි දින රැළි සඳහා මිනිසුන් සහ බස් රථ යෙදවීමට ගල් අඟුරු සහ කන්ටේනර් වංචා මගින් උපයාගත් මුදල් යොදා ගන්නා බවටද ඔහු චෝදනා කරයි.
ජනාධිපතිවරයා විසින් අධිකරණ තීන්දු සම්බන්ධයෙන් සිදුකරන පූර්ව කථනයන් අධිකරණයේ ස්වාධීනත්වයට කරන ඇඟිලි ගැසීමක් බව ඒ මහතා පෙන්වා දෙයි. මේ හේතුවෙන් විනිසුරුවරුන් බියෙන් පසුවන බවත්, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට මැදිහත් වන ලෙස තමන් අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.
දූෂණය නැති කරන බව පවසා බලයට පත් වූ රජය යටතේ භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් පමණ මංකොල්ලකෑමට ලක්ව ඇති බවට ඔහු චෝදනා කරයි. ශක්තිමත් විපක්ෂයක් නොමැති වීම ප්‍රජාතන්ත්‍රවාදයට බාධාවක් බවත්, මැතිවරණ නොපැවැත්වීමේ අවදානමක් පවතින බවත් පෙන්වා දෙන ගුණරත්න මහතා ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් විපක්ෂය ඒකාබද්ධ විය යුතු බව අවධාරණය කළේය.














