වෛද්‍ය විද්‍යාවට අනුව කිසිදා දරුවෙකු ලැබිය නොහැකි බවට තීන්දු වූ පිරිමින්ට නව ජීවයක් ලබා දෙන අතිශය විප්ලවීය තාක්ෂණයක් ලොව ප්‍රථම වරට නිපදවා තිබේ. වසර ගණනාවක් පුරා දරු සුරතල් බැලීමට පෙරුම් පුරන නමුත්, ශුක්‍ර තරලයේ ශුක්‍රාණු සෛල නොමැති වීම හෙවත් ‘Azoospermia’ තත්ත්වයෙන් පීඩා විඳින ලොව පුරා මිලියන සංඛ්‍යාත පිරිමින්ට මෙය අදහාගත නොහැකි පුවතකි. කොලොම්බියා විශ්වවිද්‍යාලය විසින් හඳුන්වා දුන් මෙම නව තාක්ෂණය, තාරකා විද්‍යාඥයන් අභ්‍යවකාශයේ ඈතින් පිහිටි තරු සොයා ගැනීමට භාවිතා කරන කෘතිම බුද්ධි (AI) ක්‍රමවේදය ඇසුරින් නිර්මාණය කර තිබීම සුවිශේෂී කරුණකි.
මෙම අසිරිමත් තාක්ෂණයේ පළමු ප්‍රතිඵලය ලෙස නිව් ජර්සි හි වෙසෙන පෙනෙලොප් සහ සැමුවෙල් යුවළ අද වන විට දරු උපතක සිහිනය සැබෑ කර ගනිමින් සිටිති. ‘ක්ලයින්ෆෙල්ටර් සින්ඩ්‍රෝමය’ නිසා සැමුවෙල්ගේ සිරුරේ ශුක්‍රාණු නොමැති බව මීට පෙර නිගමනය කළ ද, නව ‘ස්ටාර්’ (Star) පද්ධතිය හරහා ඔහුගේ පටක සාම්පලයකින් අතිශය දුර්ලභ ශුක්‍රාණු සෛල 8ක් හඳුනා ගැනීමට විද්‍යාඥයන් සමත්ව ඇත. තත්පරයකට රූප 300ක් බැගින් අධිවේගී රූපගත කිරීම් කරන මෙම පද්ධතිය, මිනිස් කෙස් ගසකටත් වඩා සිහින් නාල හරහා අපද්‍රව්‍ය අතර සැඟවී ඇති සෛල ක්ෂණිකව හඳුනාගෙන, රොබෝ හස්තයක් මඟින් ඉතා ආරක්ෂිතව වෙන් කර ගනී.
මෙම ක්‍රියාවලිය හරහා සාර්ථකව කළලයක් බිහි වී පෙනෙලොප් මේ වන විට ගැබ්ගෙන සිටින අතර, ලබන ජූලි මාසයේදී උපත ලබන ඔවුන්ගේ බිළිඳා ‘ස්ටාර්’ තාක්ෂණය හරහා ලොවට බිහිවන පළමු පිරිමි දරුවා ලෙස ඉතිහාසයට එක් වනු ඇත. වඳභාවයට ප්‍රතිකාර කිරීමේ ක්ෂේත්‍රයේ දැවැන්ත පිම්මක් ලෙස සැලකෙන මෙම සොයාගැනීම, තවමත් සායනික පරීක්ෂණ මට්ටමේ පැවතිය ද එය ලොව පුරා අසරණ වී සිටින පියවරුන්ට ලබා දෙන්නේ අසමසම බලාපොරොත්තුවකි. අවසානයේදී, අඳුරු අභ්‍යවකාශයේ තරු සෙවූ තාක්ෂණය, මිනිස් ජීවිතයක ආලෝකය සොයා දීමට සමත් වීම කෙතරම් අපූරු ද?














