කොළඹ ඩොක්යාඩ් (Colombo Dockyard) සමාගමේ මෙහෙයුම් කටයුතු ඉන්දියාව සතු කර ගැනීම හරහා ශ්‍රී ලංකාව අනවශ්‍ය භූ දේශපාලනික අර්බුදයකට මැදිවීමේ අවදානමක් පවතින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. කොළඹදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී එම පක්ෂයේ නියෝජිතයන් පෙන්වා දුන්නේ මෙරටට උපායමාර්ගිකව වැදගත් වන මෙවැනි ආයතන විදේශීය බලවතුන් සතු කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි.
විශේෂයෙන් ඉන්දියාව කිසියම් විදේශීය යුද්ධයකට මැදිහත් වුවහොත්, එම යුද නෞකා අලුත්වැඩියා කරන මධ්‍යස්ථානයක් ලෙස කොළඹ ඩොක්යාඩ් ආයතනය භාවිත කිරීමේ ඉඩකඩ පවතින බව ඔවුහු පෙන්වා දෙති. එවැනි තත්ත්වයකදී ඉන්දියාවේ සතුරන්ගේ ඉලක්කයක් බවට ලංකාව පත්වීමේ දැඩි අවදානමක් පවතින බව ද පෙරටුගාමී සමාජවාදී පක්ෂය අවධාරණය කළේය.
රජය විසින් සිදුකරන මෙම ආයෝජන සහ පවරාදීම් හරහා ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියට හානි සිදුවන බවත්, ආර්ථික ප්‍රතිලාභවලට වඩා මෙහි ඇති දේශපාලන සහ ආරක්ෂක අවදානම පිළිබඳව ජනතාව අවධාරණයෙන් පසුවිය යුතු බවත් එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කර සිටියි.














