ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් වන විමර්ශන සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් මෙතෙක් කිසිදු නිල දැනුම්දීමක් හෝ නොතීසියක් ලැබී නොමැති බව ඒ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා මෙන්ම හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා වෙත ද මේ දක්වා කිසිදු නිල කැඳවීමක් කර නොමැති අතර මෙම කරුණු මාධ්‍ය වෙත මුදාහැරීම දේශපාලන ක්‍රියාමාර්ගයක් ලෙස පෙනී යන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටී. රාජපක්ෂ පාර්ශ්වය මෙම පරීක්ෂණවලට කිසිසේත්ම බිය නොවන අතර නීත්‍යානුකූලව ඊට මුහුණ දීමට සූදානම් බවද ඔහු අවධාරණය කරයි.
කෙසේ වෙතත් වත්මන් රජයට එල්ල වී ඇති ගල්අඟුරු වංචාව සහ ඩොලර් වංචා වැනි බරපතළ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු නොකරන බවට අල්ලස් කොමිසම වෙත මෙහිදී චෝදනා එල්ල වේ.














