එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවට කැඳවීම දේශපාලන පළිගැනීමක් බවට එල්ල වන චෝදනා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රතික්ෂේප කරයි. අද (මැයි 03) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ මෙය ස්වාධීන විමර්ශන ක්‍රියාවලියක කොටසක් පමණක් බවයි.
“අපි කිසිම කෙනෙක්ගෙන් දේශපාලන පළිගැනීම් කරන්නේ නැහැ. නමුත් රටේ සම්පත් අවභාවිත කරපු, දූෂණ චෝදනා තියෙන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන එක නතර කරන්නෙත් නැහැ. දැනටමත් බොහෝ දූෂණ නඩුවලට අදාළව නඩු විභාග වන දින වකවානු අධිකරණය විසින් දැනුම් දීලා තියෙන්නේ. ඒ නිසා මේවා දේශපාලන දඩයම් නෙමෙයි, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමක්,” යැයි අමාත්‍යවරයා පැවසීය.
මෙම විමර්ශනයට අදාළව ලබන 12 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මහින්ද රාජපක්ෂ මහතාට සහ පියංකර ජයරත්න මහතාට දැනටමත් නොතීසි නිකුත් කර ඇත. දූෂණයට එරෙහිව රජය ගෙන යන වැඩපිළිවෙළ යටතේ ඉදිරි මාස කිහිපය තුළ තවත් ප්‍රබලයන් රැසකට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇති බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














