ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද (4) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
පිට පිට දෙවැනි වරටත් අවසන් තරගයට පිවිසි ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුතු දඹුල්ල කණ්ඩායම, චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු කොළඹ කණ්ඩායම සමඟ මෙම අවසන් සටන සඳහා තරග වැදීමට නියමිතය.
මූලික වටයේ තරග හයක් පැවැති අතර, එහිදී වාර්තා වූ එකම පූර්ණ ජයග්‍රහණය සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත් විය. චරිත් අසලංක පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට ගොස් සිටි බැවින් මූලික වටයේදී කොළඹ පිල ජනිත් ලියනගේ විසින් මෙහෙයවන ලද අතර, ඔවුන් තරග තුනම ජය පරාජයෙන් තොරව නිමා කරමින් දෙවැනි ස්ථානයෙන් අවසන් තරගයට එක් විය.
මූලික වටය නිමා වන විට ගාල්ලේ සදීර සමරවික්‍රම ලකුණු 384ක් රැස්කරමින් පෙරමුණ ගෙන සිටි අතර, දඹුල්ලේ අංජල බණ්ඩාර (ලකුණු 293) සහ කොළඹ නායක ජනිත් ලියනගේ (ලකුණු 280) ද දක්ෂතා අතර සිටිති. මීට අමතරව දඹුල්ලේ කවිඳු පතිරත්න ඉනිම හතරකදී කඩුලු එකළොසක් බිඳ දමමින් පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන සිටියි.














