මහා භාණ්ඩාගාරයේ පවතින ඉලෙක්ට්‍රොනික උපකරණ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.
මෙම විශේෂ විමර්ශනය ක්‍රියාත්මක වන්නේ මහා භාණ්ඩාගාරයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් තෙවැනි පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධියකට අදාළව වන අතර කරුණු අනාවරණය වී මේ වන විට සති දෙකක පමණ කාලයක් ගත වී තිබේ. භාණ්ඩාගාරය සතු පරිගණක, ලැප්ටොප් යන්ත්‍ර, දුරකථන සහ සිම් කාඩ්පත් මෙහිදී පරීක්ෂාවට ලක් කෙරේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ සියලු අංශ ඔස්සේ මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බවයි. ෆ්‍රී ලෝයර්ස් සංවිධානය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති කබීර් හෂීම් මහතාගෙන් ඉල්ලා සිටින්නේ විගණකාධිපතිවරයා සමඟ එක්ව මේ පිළිබඳ විවෘත පරීක්ෂණයක් පවත්වන ලෙසයි. මීට පෙර මුදල් කාරක සභාවේ අවධානයට මෙම කරුණ යොමු කළ ද ඒ සඳහා කරුණු දැක්වීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට මාසයක සහන කාලයක් ලැබී ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.














