වෙළඳපොළ මිල ගණන් යටතේ රජයන් අතර එකඟතාවක් (G2G) මත චීනයෙන් ඉන්ධන මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාව තවමත් සාකච්ඡා පවත්වමින් සිටින බව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.
මැදපෙරදිග පවතින යුද වාතාවරණය හමුවේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම සඳහා පවතින තත්ත්වයන් යටතේ අවම වශයෙන් එක් ඉන්ධන නැව් තොගයක් හෝ චීනයෙන් මිලදී ගැනීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම සඳහා වන සාකච්ඡා ද තවමත් ක්‍රියාත්මක මට්ටමේ පවතින අතර ඒ සඳහා වන ප්‍රවාහන හා සැපයුම් විධිවිධාන (logistical arrangements) මේ වන විට සලකා බලමින් පවතී. සැපයුම්කරු හඳුනා ගැනීම සහ ගෙවීම් ක්‍රමවේදයන් ප්‍රසම්පාදන රාමුවට අනුකූලව සකස් කිරීම වැනි තාක්ෂණික කරුණු කිහිපයක් තවදුරටත් අවසන් කිරීමට ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය
ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාමට සාපේක්ෂව දේශීය මිල ගණන් සංශෝධනය කළ ද, එහි සම්පූර්ණ බර පාරිභෝගිකයා මත පටවා නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. උදාහරණයක් ලෙස රුපියල් 392 කට අලෙවි කරන ඔටෝ ඩීසල් ලීටරයක සැබෑ පිරිවැය රුපියල් 700 ඉක්මවන බවත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පිරිවැයෙන් කොටසක් දරා ගනිමින් පාරිභෝගිකයාට සහනයක් ලබා දෙන බවත් ඔහු සඳහන් කළේය.














