ඩොලර් මිලියන 2.5 ක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවිය යුතු බව විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා යෝජනා කරයි. මේ සම්බන්ධයෙන් විශේෂ වරප්‍රසාද ප්‍රශ්නයක් මෙම සතියේදී පාර්ලිමේන්තුවේදී මතු කිරීමට ද මන්ත්‍රීවරයා සූදානම් වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තියට අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ බලය පාර්ලිමේන්තුව සතු බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. සියලුම ආදායම් ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතු අතර, පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව එම අරමුදලෙන් මුදල් නිදහස් කළ නොහැක. ඒ අනුව මෙම ඩොලර් මිලියන 2.5 ක මුදල සාමාන්‍ය ක්‍රියාපටිපාටියෙන් බැහැරව නිදහස් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මුදල් ලේකම්වරයා වගකිව යුතු බවත් ඔහු සඳහන් කරයි.
පසුගිය සතියේ මුදල් ලේකම්වරයා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී අදාළ තොරතුරු හෙළි කිරීමට ඔහු අපොහොසත් වී ඇති බව දයාසිරි ජයසේකර මහතා පවසයි. මෙම ක්‍රියාව හරහා පාර්ලිමේන්තු වරප්‍රසාද පනත උල්ලංඝනය වී ඇති බැවින් ඔහු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවිය යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.














