මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ දොඩම් යුෂ පානය ඇතුළත් ඇසුරුම් අලෙවි කිරීමට ප්‍රදර්ශනය කර තිබූ වෙළඳසල් හිමිකරුවකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කරන ලදී.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී.ඩී.ජේ ප්‍රේමරත්න මහතා හමුවේ මෙම නඩුව විභාග වූ අතර, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුට මෙම දඩය නියම කෙරිණි.
විත්තිකරු විසින් කල් ඉකුත් වීමේ දිනය 2026 මාර්තු 14 ලෙස සටහන් වූ මිලිලීටර් 330 ක අධි සාන්ද්‍ර දොඩම් යුෂ ඇසුරුමක් පාරිභෝගිකයා නොමග යවන ආකාරයට අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබුණි. පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරියෙකු වන යසිත ඉෂාන් මහතා වෙත රුපියල් 660 ක මුදලකට අදාළ ඇසුරුම විකිණීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
විකිණීමට නුසුදුසු හෝ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම සහ ප්‍රදර්ශනය කිරීම විශේෂ ගැසට් පත්‍රයක් මගින් තහනම් කර ඇති දඬුවම් ලැබිය හැකි වරදක් බව විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ. ඒ අනුව, 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ විත්තිකරු වරදකරු වී තිබේ.














