හොරණ කොළඹ මාර්ගයේ පොල්ගස්ඕවිට, වෑතර ප්‍රදේශයේදී නවතා තිබූ කන්ටේනර් රථයක යතුරුපැදියක් ගැටී සිදුවූ අනතුරකදී, කන්ටේනර් රථ රියදුරුගේ ක්ෂණික තීරණයක් හේතුවෙන් සිදුවීමට ගිය රුපියල් කෝටි ගණනක දේපළ හානියක් වැළකී ගොස් තිබේ.
රබර් ශීට් තොගයක් පටවාගෙන යමින් සිටි කන්ටේනර් රථයක් තේ පානය සඳහා වෑතර ප්‍රදේශයේ හෝටලයක් අසල නවතා තිබියදී, පිළියන්දල දෙස සිට පැමිණි යතුරුපැදියක් එහි පිටුපස ගැටී ඇත. අනතුරත් සමඟ යතුරුපැදිය කන්ටේනර් රථයේ ඇමිණී ගිනි ගැනීමට ලක්ව තිබේ. පිළිස්සුම් තුවාල ලැබූ යතුරුපැදිකරු වෑතර දිසා රෝහලට ඇතුළත් කර ඇත.
යතුරුපැදිය කන්ටේනර් රථයේ ඇමිණී තිබීම නිසා එය ඉවතට ගැනීමට නොහැකි වූ අතර, ගින්න වේගයෙන් පැතිර යාමට පටන් ගෙන තිබේ. එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ රියදුරු, කන්ටේනර් රථය පණගන්වා ගිනි ගනිමින් තිබූ යතුරුපැදියත් සමඟ ඉදිරියට ධාවනය කර ඇත. අනතුරුව රථය එකවරම දකුණු පසට හරවා මාර්ගයේ මැද දූපතේ (මැද ගැට්ටේ) යතුරුපැදිය ගැටීමට සැලැස්වීමෙන් එය කන්ටේනර් රථයෙන් ගලවා ගැනීමට ඔහු සමත් විය.
රියදුරු මෙම තීරණය නොගත්තේ නම් කන්ටේනර් රථයේ තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා රබර් ශීට් තොගය මෙන්ම අවට තිබූ වෙළඳසැල් රැසක් ද ගින්නට බිලිවීමට ඉඩ තිබූ බව ප්‍රදේශවාසීහු පවසති. කහතුඩුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















