ජනාධිපතිවරයා විසින් පසුගියදා අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශය මෙරට අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට එල්ල වූ බරපතළ අභියෝගයක් බව පවසමින් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (මැයි 04) සිය ප්‍රබල විරෝධය පළ කළේය.
ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ “ශිෂ්ඨ ලෝකයක තුන්වෙනි පුද්ගලයෙක් සතුටු කරන්න තීන්දු දෙන්නේ නැති” බවත්, නඩු පවරන දිනයන් පිළිබඳවත්ය. මෙයට ප්‍රතිචාර දක්වමින් මහාචාර්යවරයා සඳහන් කළේ, අධිකරණයක් තීන්දු ලබාදිය යුත්තේ පවතින සාක්ෂි සහ නීතිමය කරුණු මත මිස දේශපාලන අධිකාරියේ වුවමනා එපාකම් හෝ කිසිවෙකුගේ සතුටු කිරීම් මත නොවන බවයි.
“අධිකරණය ක්‍රියාත්මක විය යුත්තේ නීතියේ රාමුව තුළ මිස විධායකයේ න්‍යාය පත්‍රයට අනුව නොවේ. ජනාධිපතිවරයා හෝ මැති ඇමතිවරුන් අධිකරණයේ ප්‍රකාශකයන් ලෙස කටයුතු කිරීම ශිෂ්ට සම්පන්න රටකට ගැලපෙන්නේ නැහැ. මෙය අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය පළුදු කිරීමක්” යැයි ද ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට කැඳවීම වැනි කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් නිකුත් වන ප්‍රකාශ, නීතිමය ක්‍රියාවලියට දේශපාලන මුහුණුවරක් ලබා දීමට දරන උත්සාහයක් බව ද හිටපු විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රටක ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට නම් විධායකය විසින් අධිකරණයේ ස්වාධිපත්‍යයට ගරු කළ යුතු බව ඔහු මෙහිදී රජයට මතක් කර සිටියේය.













