භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශන පවත්වමින් සිටි තොරතුරු තාක්ෂණ අංශයේ ඉහළ නිලධාරියෙකු අභිරහස් ලෙස මියයාමේ සිද්ධිය පිටුපස විශාල කුමන්ත්‍රණයක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (04) අනාවරණය කළේය.
මෙම මරණය සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කළ ආකාරය දැඩි ප්‍රශ්න කිරීමකට ලක් කළ ගම්මන්පිල මහතා, විධිමත් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණ වෛද්‍ය වාර්තාවක් නිකුත් කිරීමටත් පෙර, මෙය සියදිවි නසාගැනීමක් බවට නිගමනය කිරීමට පොලිසිය මෙතරම් ඉක්මන් වූයේ මන්දැයි ප්‍රශ්න කර සිටියේය. “මරණ පරීක්ෂණය කරන්නත් කලින් පොලිසිය කොහොමද සියදිවි නසාගැනීමක් කියලා නිවේදනය කරන්නේ? මේක මරණයක් නෙමෙයි, භාණ්ඩාගාර කොල්ලයේ සාක්ෂි වළලා දැමීමට කළ ඝාතනයක් වෙන්න බැරිද?” යනුවෙන් ඔහු විමසා සිටියේය.
මෙම මියගිය නිලධාරියා භාණ්ඩාගාරයේ දත්ත පද්ධතියේ රහස්‍ය තොරතුරු සහ මෑතකදී සිදුවූ මූල්‍ය හුවමාරු පිළිබඳ වැදගත් සාක්ෂි සතු පුද්ගලයෙකු බවත්, ඔහු මියයාමට පෙර මුදල් ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් ඔහුට දැඩි පීඩනයක් එල්ල වී තිබූ බවට තොරතුරු ලැබී ඇති බවත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම මරණය හුදෙක් තවත් එක මරණයක් ලෙස බැහැර නොකර, ඒ පිළිබඳව ස්වාධීන සහ විනිවිද පෙනෙන විමර්ශනයක් පවත්වන ලෙසත්, භාණ්ඩාගාරයේ ඉතිරිව ඇති ඩිජිටල් සාක්ෂි වහාම ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් ගම්මන්පිල මහතා රජයෙන් ඉල්ලා සිටියේය. සාක්ෂිකරුවන් අතුරුදන් වීම හෝ මියයාම හරහා මෙරට විශාලතම මූල්‍ය වංචාව යටපත් කිරීමට ඉඩ නොදෙන බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.













