ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණයේ බහුතර බලය තහවුරු කරගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නායකත්වය දෙන භාරතීය ජනතා පක්ෂය (BJP) සමත්ව ඇති බව ඉන්දීය මැතිවරණ කොමිසමේ දත්ත වාර්තා කරයි.
ආසන 294කින් සමන්විත බටහිර බෙංගාල ප්‍රාන්ත සභාවේ බලය පිහිටුවීම සඳහා ආසන 148ක බහුතරයක් අවශ්‍ය වේ. කෙසේ වෙතත්, ෆාටා (Fata) ප්‍රදේශයේ ඡන්ද විමසීම අවලංගු කිරීම හේතුවෙන් මෙවර ඡන්ද ගණන් කිරීම සිදු කෙරුණේ ආසන 293ක් සඳහා පමණි. ඒ අනුව බහුතරය සඳහා අවශ්‍ය ආසන සංඛ්‍යාව 147ක් දක්වා සංශෝධනය විය.
නිකුත් වී ඇති නිල ප්‍රතිඵල අනුව භාරතීය ජනතා පක්ෂය එම තීරණාත්මක ආසන සංඛ්‍යාව ඉතා පහසුවෙන් පසුකර යමින් ප්‍රාන්තයේ බලය අත්පත් කරගැනීමට සමත්ව තිබේ. මෙය මෑත කාලීන ඉන්දීය දේශපාලන ඉතිහාසයේ බෙංගාල ප්‍රාන්තය තුළ BJP පක්ෂය ලැබූ විශාලතම ජයග්‍රහණය ලෙස සැලකේ.
දශකයකට වැඩි කාලයක් බටහිර බෙංගාලයේ බලය හෙබවූ මමතා බැනර්ජි මහත්මියගේ තෘණමූල් කොංග්‍රසයට (TMC) මෙම ප්‍රතිඵලයත් සමඟ දැඩි පසුබෑමකට මුහුණ දීමට සිදුව ඇත. අගමැති මෝදිගේ පක්ෂය මෙම ජයග්‍රහණයත් සමඟ ඉන්දීය දේශපාලන සිතියම තුළ සිය ආධිපත්‍යය තවදුරටත් තහවුරු කරගෙන තිබේ.













