ඉරානය විසින් එල්ල කරන ලද නවතම ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර හමුවේ මැදපෙරදිග කලාපයේ ගුවන් සීමාවන් තුළ දැඩි අවදානම් තත්ත්වයක් මතු වීම හේතුවෙන් ඩුබායි සහ සාජා බලා ධාවනය වන ගුවන් ගමන් රැසකට බාධා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පවතින අනතුරුදායක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගුවන් ගමන් පාලකවරුන් විසින් ගුවන් යානා කිහිපයක් ගුවනේ රඳවා තබා ගැනීමට (Holding) පියවර ගෙන ඇති අතර, තවත් ගුවන් යානා කිහිපයක් ආරක්ෂිත පියවරක් ලෙස කඩිනමින් වෙනත් ගුවන් තොටුපළවල් වෙත යොමු කිරීමට (Diverted) කටයුතු කර තිබේ. මේ හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ සාජා ගුවන් තොටුපළ වෙත පැමිණීමට සහ පිටත්වීමට නියමිතව තිබූ ගුවන් වාර රැසක් ප්‍රමාද වී ඇති බව ද වාර්තා වේ.
හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකාවලට සහ ෆුජයිරා හි තෙල් පිරිපහදුවට එල්ල වූ ප්‍රහාරවලින් පසු කලාපීය ආරක්ෂාව තහවුරු කරන තෙක් ගුවන් ගමන් මෙහෙයුම් මෙලෙස සීමා කිරීමට බලධාරීන් තීරණය කර ඇත. මේ හේතුවෙන් සංචාරකයන් දහස් ගණනක් ගුවන් තොටුපළවල අතරමං වී ඇති අතර, ගුවන් ගමන් කාලසටහන් පිළිබඳව විමසිලිමත් වන ලෙස ගුවන් සමාගම් මගීන්ගෙන් ඉල්ලා සිටී.













